17 November 2011

එක්නැලිගොඩගේ දේහය මහ මුහුදට දැමූ බව දෙමටගොඩ චමින්ද කියයි

ඝාතනය කොට තිබූ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ දේහය තමා ඇතුළු පිරිසක් මීගමුව කලපුවෙන් මහ මුහුදට ගෙන ගොස් දැමූ බව පාතාලයේ ප‍්‍රධානියෙකු වන දෙමටගොඩ චමින්ද නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉදිරියේ පසුගියදා ප‍්‍රකාශ කොට තිබේ.
භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට ගෙන මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

මොහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ‘කුඩු දුමින්ද’ මහතාගේ විශ්වාසවන්තම ගෝලයෙකුද වෙයි.
තමා මුහුදට ගෙන ගොස් දැමූ පුද්ගලයා කවුරුන්ද යන්න එම මොහොතේ නොදැන සිටි බවත්, එදින රාති‍්‍රයේ ජැයික් හිල්ටන් හෝටලයේ පැවැති මධුවිත සාදයේදී, මුහුදට ගෙන ගොස් දැමුවේ වෙබ් කාරයෙකු බව ‘ලොක්කා’ (දුමින්ද සිල්වා) තමන්ට පැවැසූ බවත්, ඒ පුද්ගලයා ප‍්‍රදීප් එක්නැලිගොඩ නමැත්තා බව පසුව දැන ගත් බවත් දෙමටගොඩ චමින්ද ප‍්‍රකාශ කර තිබේ.
මෙවැනි මළ සිරුරු කිහිපයක් ‘ලොක්කාගේ ඕඩර්ස්’ මත මහ මුහුදට ගෙන ගොස් දැමූ බව සඳහන් කර ඇති දෙමටගොඩ චමින්ද, ඒ සියලූ දෙනාගේ මළ කඳන් ගෝනිවල දමා බර කළුගල් දමා සකස් කර තිබූ බවද පවසා ඇත.
ඒ සෑම අවස්ථාවකදීම එය ‘බොසාගේ’ (ආරක්‍ෂක ලේකම්) වැඩක් බව ‘ලොක්කා’ තමන්ට ප‍්‍රකාශ කළ බවද චමින්ද සඳහන් කර තිබේ.
‘‘සර්.... මෙයාලා කොහොමත් තව ටික දවසකින් මට ‘ගහලා’ (මරලා) දානවා. අපි මිනී මරපු එක ඇත්ත. ඉන්දියාවෙන් කුඩු ගෙනාව එකත් ඇත්ත. අපි ඒවා කළේ අපේ පෞද්ගලික ඕනෑකමටම නෙවෙයි. ලොක්ක කියපු නිසයි. සර්ලා මේවා එළියට ගිහිල්ලා කියන්න. හෙට අනිද්දා මාවත් මරලා දැම්මට පස්සේ මේ සිද්ධීන් යට ගිහිල්ලා යනවා’’ යැයිද දෙමටගොඩ චමින්ද එම පොලිස් නිලධාරීන් ඉදිරියේ වැඩිදුරටත් පවසා ඇත.
දෙමටගොඩ චමින්ද එසේ පාපොච්චාරණයක් කළද, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා පසුගියදා ජිනීවා නුවර පැවැති වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියේ, ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශ රටක දේශපාලන රැකවරණ යටතේ හොඳින් ජීවත්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි

Lankanewsweb

No comments:

Post a Comment