05 November 2011

ජවිපෙ කැරැලිකාර කණ්‌ඩායමේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වේ

ටිල්වින් සිල්වා මහතා විසින් පක්‍ෂයේ අලුත් සාමාජික ලැයිස්‌තුවක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයාට භාරදීම නිසා කැරැලිකාර කණ්‌ඩායමේ සියලුම සාමාජිකයින්ගේ ජවිපෙ සාමාජිකත්වය අහෝසි වන තත්ත්වයක්‌ උද්ගතවී ඇත.පක්‍ෂයේ බලය හා අයිතිය ලබා ගැනීමට ජවිපෙ කැරැලිකාර කණ්‌ඩායම විසින් දියත් කළ සටනට මෙය විශාල බලපෑමක්‌ සිදුකර ඇතැයිද එම කණ්‌ඩායමේ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසුවේය.ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පක්‍ෂ මහා සමුළුවට පසුව මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කළ සාමාජික ලැයිස්‌තුව අවලංගු කරමින් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම නව සාමාජික ලැයිස්‌තුව යවා ඇත.ඒ අනුව පළමු ලැයිස්‌තුවට ඇතුළත්ව තිබූ චමීර කොස්‌වත්ත, පුබුදු ජයගොඩ, වරුණ රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. කේ. සුබසිංහ, දුමින්ද නාගමුව හා දිමුතු ආටිගල යන අය ඇතුළු කැරැලිකාර කණ්‌ඩායමේ සිටින සියල්ලන්ගේ නම් මෙම නව ලැයිස්‌තුවට ඇතුළත්ව නැතිබව එම ප්‍රකාශකයා සඳහන් කළේය.කැරැලිකාර කණ්‌ඩායමට එක්‌ව සිටින ඉහත සියලුම දෙනාගේ නම් මෙම නව සාමාජික නාමලේඛනයේ නොමැති නිසා ඔවුන් තවදුරටත් ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් ලෙස නොසැලකෙන තත්ත්වයක්‌ මතුව ඇතැයිද මෙම ප්‍රකාශකයා කීය.ජනතා විමුක්‌ති පෙරමුණේ විශේෂ සම්මේලනයක්‌ කැඳවා සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා යන මහත්වරුන් සහ අනෙකුත් ඉහළ නායකයන්ගේ තනතුරු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා නායකත්වයට හිතවත් අයගේ නාම ලේඛනයක්‌ මෙසේ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත යවා ඇතැයිද හෙතෙම කීය.නව සාමාජික නාම ලේඛනයක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධව තම කණ්‌ඩායම මැදිහත්වීමක්‌ නොකරන බවද සදාචාර විරෝධී මෙම ක්‍රියාව පිළිබඳව සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන බවද කැරැලිsකාර කණ්‌ඩායමේ පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment