14 November 2011

නුගේගොඩින් පැහැරගත් පොත් සාප්පු හිමිකරු දින දෙකකට පසු කැළණිමුල්ලෙන් අතහැර දමා යයි: බණ්ඩාර මහතාගේ බිහිසුණු අත්දැකීම


පසුගිය 11 දා රාත‍්‍රී පැහැරගැනීමට ලක්වූ නුගේගොඩ මිලේනියම් බුක් ෂොප් හි අයිතිකරු කපිල චමින්ද බණ්ඩාර මහතා ඊයේ(13* රාත‍්‍රී කැළණිමුල්ල ප‍්‍රදේශයට ගෙනත් අතහැර දමා ගොස් තිබේ. සිය බිහිසුණු අත් දැකීම ඔහු ‘ලංකා ඊනිව්ස්’ වෙත හෙළි කෙළේ මෙසේය.

‘11 දා ? 8.30 ට විතර පස්සෙ මාව අත් අඩංගුවට ගත්ත. ඇත්තටම කිව්වොත් අත් අඩංගුවට ගත්ත නෙමේ බලහත්කාරයෙන් පැහැර ගත්ත. මම කඬේ වහල යන්න හදද්දි 6 දෙනෙක් විතර පිරිසක් සුදු වෑන් එකකින් ඇවිත් බලහත්කාරයෙන් පිස්තෝලයන් පෙන්වා මාව දාගත්ත. ඒ වෙලාවෙදි ඔවුන් මට සහ අවට සිටි අයට කීවේ ඔවුන් සීඅයිඩියෙන් කියලයි.’

‘මාව දාගත්ත ගමන් මගේ අත් දෙකයි ඇස් දෙකයි ගැට ගැහුවා. ගැට ගහල වෑන් එකේ අන්තිම ෂීට් එකේ බුදිකරවාගෙන ගෙනිච්ච. මට ඉන්න වුනේ මා පැහැර ගත්ත අයගේ කකුල් උඩ බොහොම අපහසු ඉරියව්වකින්. එහෙම පැය දෙකක තුනක දුරක් මාව ගෙනිච්ච.’

‘පසුව එක තැනකට ආවට පස්සෙ බැස්සුවා. කොහේ හරි ඇතුලකට ගෙනිච්ච. ඊට පස්සෙ අත් දෙක ගැට ගහල තිබුණු පටිය වගේ එක ගලවල දම්වැලක් වගේ එකකින් අත් දෙකම ගැට ගහල එ්ක බිත්තියක තිබුණු මොකක් හරි එකක ගැට ගැහුව. සාමාන්‍යයෙන් මගේ දකුණු අත උරහිසින් පනිනව. එ් ඉරියව්වට ගැට ගැහුවම මගේ උරහිස පනින බව කීවම උන් දකුණු අත නිදහස් කළා. ‘හැබැයි උඹ එ් අතින් ඇස් දෙක ඇර ගත්තොත් උඹට වෙඩි තියල මරනව’ කියල තර්ජනය කළා. මම බයටම ඇස් ඇරගන්න ගියේ නෑ. එදා ? කන්න ගෙනත් දුන්න.’

‘පහුවදාට එළිවුනා. උන් මාව වැසිකිලියට එක්ක ගියා. හැබැයි ඇස් බැඳලමයි තිබුණෙ. කන්න දුන්න. වරින්වර ඇයි මාව ගෙනාවෙ? ඇයි මෙහෙම මට කරන්නෙ? ආදී මගේ නිර්දෝෂීකම ගැන කතා කළ හැම වෙලාවකම කිසිවෙක් උත්තර දුන්නෙ නෑ. මට තර්ජනය කළා ‘කට පියාගෙන හිටපං නැතිනම් වෙඩිතියල දානව’ කියල. නැතිනම් ‘මැරුම් නොකා කට පියාගෙන ඉඳපං’ කියල කීව මිසක් ඇයි ගෙනාවෙ කියල කීවෙ නෑ.’

‘ඊට පසුවදා එ් කියන්නෙ 13 දා දවල් මාව එළියකට අරන් පුටුවකට තියල බැන්ද. ප‍්‍රශ්න කිරීමකට වගේ ලැහැස්ති වුනා. කාගෙද නමක් කියල උගේ ගෝලයෙක් ද කියල ඇහුව. එ් අහපු නම මට මතක නෑ. මම කම්පනයක හිටියෙ. මගේ නමටත් තුෂාර කෑල්ලක් තියෙනවා. මම චමින්ද තුෂාර බණ්්ඩාර. මට තෙරුණු විදිහට තුෂාර කෙනෙක් ගැන තමයි උන් හෙව්වෙ ඇහුවෙ. පස්සෙ බොස් කියල කෙනෙක් ආව. එ් මිනිහ ඈත තියාම මේ මොකෙක්ද? කියල ඇහුව. උන් වෙන කාමරයකට ගිහින් කෑ කෝ ගහනව ඇහුන. මේ මුළු කාලෙම මගේ ඇස් බැඳල තිබ්බෙ.’

‘මාව එහෙමෝම තියල තිබුන පස්සෙ. කන්න ගෙනත් දුන්න. ඊට පස්සෙ පුටුවෙන් ලිහල මගේ අත් දෙක ආයිත් රෙදි පටියකින් වගේ එකකින් බැඳල වෑන් එකකට දාගත්ත. ගෙනිච්ච වගේම දුරක කාලයක් පැය දෙකක් තුනක් විතර කාලයක් යලි වෑන් එකේ දාගෙන ආව. ඇවිත් එක තැනකදි අත් දෙක ගලවල වෑන් එකෙන් බැස්සුව. බස්සල ඇස් දෙක ගලවල ‘පස්ස බලන්නෙ නැතුව ඉස්සරහට පලයං, පස්ස බැලූවොත් වෙඩි තියනව’ කීව. එ් වෙලාවෙ වැස්ස. මම ඇස් ඇරියට මුකුත් පෙනුනෙ නැහැ. මම එහෙමම ඉස්සරහට ගියා. දෙපැත්තෙම වෙලක් වගේ තිබුණ. ගොඩක් දුර ගිහිල්ල පස්ස බැලූව වෑන් එකක් තිබුණෙ නෑ. මම එහෙමම ඇවිද ගෙන ආව. පස්සෙ කඩයක් වගේ තැනකට ආව. එ් වෙලාවෙ ? 9 ට විතර ඇති. එතකොට දැනගන්න ලැබුන මම ඉන්නෙ කැළනිමුල්ලෙ කියල.’

‘උන් මාව පහැර ගන්න කොට මගේ ෆෝන් එක අරගත්ත. අත් ඇරල දාද්දි ෆෝන් එක ආපහු සාක්කුවට දාල තිබුණ. මම එ්කෙන් මගේ යාලූවෙකුට කෝල් එකක් දීල ඉන්න තැන කියල. වාහනයක් ගෙන්න ගෙන ආව. එදා මාව පැහැර ගනිද්දි මගේ අතේ සල්ලි තිබුණ. උන් එ් සල්ලි අරගත්ත. අත් ඇරල දාන කොට එ් සල්ලිත් ආපහු සාක්කුවට දාල තිබුණ.’


පැහැර ගත්තවුන් ගැන බණ්ඩාර මහතාගේ තක්සේරුව මෙසේය:

‘උන් අතේ ආයුධ තිබෙන බව තේරුණා. හැම වෙලාවෙම කතා කෙළේ කුණුහරුපත් එක්ක බොහොම රළු විදිහට. මම දේශපාලනයක් කරන්නෙ නෑ. 2003 විතර ඈත කාලෙක ජනතා විමුක්ති පෙරමුණට පක්ෂව ඉතා සුළුකාලයක් ක‍්‍රියා කරල 2003 දි ඉන් ඉවත් වෙලා තියෙනව. ඊට පස්සෙ කසාද බැඳල දරු මල්ලො හදාගෙන ව්‍යාපාර දියුණු කරගෙන ගියා. මට ව්‍යාපාරික සතුරන් එහෙම කවුරුත් නෑ. මම හිතන්නෙ මුන් කවුරු හරි කියල මාව වරදවා වටහා ගත්තා කියලයි.’

2010 ජනවාරි මාසයේදී අතුරුදහන් කරන ලද ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාද ඊට පෙර අගෝස්තු මාසයේ දිනක මෙලෙසම පැහැරගෙන ගොස් දින දෙකකට පමණ පසු අතරමගට ගෙනැවිත් දමා තිබිණ. ඔහු අප වෙත එදා කී කතාවත් මේ කතාවත් දෙකම සියයට අනූවකින්ම එක හා සමාන ය. එක්නැලිගොඩ මහතා ද සිතා සිටියේ කවුරුන් හෝ පැහැර ගත්තවුන්ට එදා වැරදුනා කියා ය.

Lankaenews

1 comment: