06 November 2011

සියලුම ඖෂධ සඳහා පාලන මිලක්‌ නියම වේ පෞද්ගලික ඔසුසල්වල ගසා කෑමට එරෙහි පියවරක්‌

මෙරට අලෙවි කරන සෑම ඖෂධයක්‌ සඳහාම පාලන මිලක්‌ නියම කිරීම සඳහා ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) "දිවයින"ට කීය.

මෙම මිල පාලනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවද කී ඇමැතිවරයා 2002 වසර දක්‌වා ශ්‍රී ලංකාවේ ඖෂධ සඳහා මිල පාලනයක්‌ තිබූ නමුත් එවක පැවැති එ.ජා.ප. රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මගින් ඖෂධ මිල පාලනය අහෝසි කළ බවද කීය.

වසර දහයකට පසුව යළිත් ඖෂධ මිල පාලනය කිරීම ක්‍රියාත්මක කරනුයේ, පෞද්ගලික ඔසුසැල් අත්තනෝමතික ලෙස එකම ඖෂධ වර්ගය විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට ජනතාවගෙන් ලද පැමිණිලි නිසා බවද ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

සත දාහතරකට අලෙවි කළ හැකි පැරසිටමෝල් පෙත්තක්‌... පෞද්ගලික ඔසුසල් විවිධ මිල ගණන් යටතේ සහ විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කරන බව කී ඇමැතිවරයා මේ ආකාරයට ජනතාව ගසාකෑමට වෙළෙඳුන්ට ඉඩදී තවදුරටත් බලා සිටිය නොහැකි බවද කීය.

ඇතැම් පෞද්ගලික ඔසුසල්වල මිල අඩු ඖෂධය ඇතත් එය නැති බව පවසමින් මිල අධික ඖෂධය රෝගීන්ට ලබාදෙන බව කී ඇමැතිවරයා මීට වසර දහයකට පෙර ඖෂධ මිල පාලනය ඉවත් කළේ මහජනතාවට ඖෂධ වර්ග තෝරා ගැනීම තුළින් සාධාරණත්වයක්‌ ඉටුකර දීමට වුවද එම අරමුණ සාර්ථක වී නැතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

එම නිසා ලබන වසරේ සිට සෑම ඖෂධ වර්ගයක්‌ම වෙළෙඳපොළේ එකම මිලකට ලබාගැනීමට ජනතාවට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


Divaina
 

No comments:

Post a Comment