06 November 2011

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිවේදනයත් සමග වෙබ් අඩවි වාරණය පුළුල් කරයි

ශ‍්‍රී ලංකාව හෝ ඉන් පිටත සිට ශ‍්‍රී ලංකාව හෝ ශ‍්‍රී ලාංකික ජනතාව පිළිබද පුවත් පළ කෙරෙන සියලූම වෙබ් අඩවි කඩිනමින් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු යැයි රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කිරීමත් සමග ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවේ ඉතිරි අන්තර් ජාල සේවා සපයන්නන් විසින්ද රට තුල අවහිර කර තිබේ.

ඊට අමතරව මෙම නිවේදනයත් සමගම ශ‍්‍රී ලංකා මිරර් සහ ලංකාවේ නිව්ස් නම් වෙබ් අඩවි ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් ශ‍්‍රී ලංකාව තුල අවහිර කර තිබේ. ශ‍්‍රී ලංකාවේ පාලක රෙජීමය අමු අමුවේම එ්කාධිපති පාලනයක් කරා ගමන් ගැනීම තවදුරටත් තහවුරු කරමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා අද නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
2011 නොවැම්බර් 05 දින

පුවත්පත් නිවේදනය
---------------------
ඇතැම් වෙබ් අඩවි වල පළ කෙරෙන සමහර වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වූ විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලා එමින් පවතී. මෙම වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කරමින් අපහාසාත්මක අසත්‍යය හා හානිකර පුවත් පළ කරන බව නිරීක්‍ෂණය වී ඇත. ඇතැම් වාර්තා ඍජුවම එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානිකර වේ. හිතාමතා සිදුකරන මෙම චරිත ඝාතන වල ඉලක්ක බවට පත්වී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා, ඇමැතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් ප‍්‍රභූ පුද්ගලයන් ය. මෙම වෙබ් අඩවි රටේ පවත්නා නීතිය උල්ලංඝණය වන පරිදි මෙම වැරදි ක‍්‍රියාවල නිරත වෙමින් සිටින බවට ප‍්‍රශ්නගත වෙබ් අඩවි වාර්තා පිළිබඳව කරනු ලැබූ විමර්ශණයේදී හෙළි වී ඇත.


මෙවැනි වෙබ් අඩවි ක‍්‍රියාත්මක කරන සහ පවත්වාගෙන යන පුද්ගලයන් රජය, රාජ්‍ය නායකයා සහ අනෙකුක් අදාල පුද්ගලයන් අවමානයට පත් කිරීමේ ද්වේෂ සහගත අරමුණින් මෙම ක‍්‍රියාවල නිරතවන බව පැහැදිලිය. මෙම වෙබ් අඩවිවල වාර්තාකරුවන්, කතුවරුන්, හිමිකරුවන්, ජනමාධ්‍ය ආචාර ධර්ම හෝ එම වෙබ් අඩවි වල ඉලක්ක බවට පත් වූ පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට ඇති අයිතිය සහ ආරක්ෂාව පිලිබඳ හෝ නොසලකා ක‍්‍රියාකරන බව පෙනී යයි. වෙබ් අඩවියක පළ වූ වාර්තාවක අන්තර්ගතය යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි කර වේනම් එවන් ප‍්‍රකාශණ වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක පිළිගත් ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් සේ සැලකේ. එවන් අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප‍්‍රකාශනයන් අධෛර්යමත් කළ යුතු අතරම පොදු මහජන යහපත උදෙසා එ්වා වැලැක්වීමට ද පියවර ගත යුතු වේ.

ඉහත තත්ත්වය සැළැකිල්ලට ගෙන ශ‍්‍රී ලංකාව හෝ ඉන් පිටත සිට ප‍්‍රවෘත්ති පළ කෙරෙන වෙබ් අඩවි ජනමාධේ‍ය් පිළිගත් සදාචාරාත්මක ප‍්‍රමිතීන්ට සහ ශ‍්‍රී ලංකාවේ පවතින නීතියට අනුකූලව පවත්වාගෙන යන ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාව හෝ ශ‍්‍රී ලාංකික ජනතාව පිලිබඳ පුවත් පළකෙරෙන සියළුම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියා පදිංචි කර ගැනීමට ක‍්‍රියාකරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර දුක 0094 11 2513943 ඔස්සේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන සහ සැලසුම්) කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මිය ඇමැතීමෙන් හෝ ෆැක්ස් අංක 0094 11 2512343 ඊමේල් - අමරතුංගමීඩියා ඇට් යාහූ ඩොට් කොම් හෝ සෙකටි‍්‍ර ඇට් මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ සහ ඩබ්.ඩබ්.ඩබ්. මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය අංක 163, කිරුලපොන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

අත්සන් කෙළේ
මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල්

 Lankaenews
http://184.172.224.185/Sinhala/news.php?id=18660

No comments:

Post a Comment